Sunday, October 4, 2015

Berty Bird



මීට සති 2කට කලින් මෙයා ගැන පලකෙරුවා මතක ඇති. අර උකුස්සෙක් ඩැහැගෙන යද්දි බේරගත්තෙ. දැන් නම් හොඳයි. අපි “බර්ටි“ කියලා නමකුත් දැම්මා. ඒත් එයාට හරි අකරතැබ්බ වගයක් පහුගිය දවස්වල සිද්ධ උනා. ඔන්න ඉතිං හොඳ උනාට පස්සේ ගේ ඇතුලෙම හිරකරගෙ ඉන්න හොඳ නැති නිසා දොර ඇරලා තිබ්බා යනවනම් යන්න කියලා. ඔන්න ටික වෙලාවකට පස්සෙ දොරෙන් එළියට ගියා. පොළොවේ ඉන්න චූටි චූටි කෘමි සත්තු ආහාරයට ගත්තා. ඊටපස්සේ  ගහකට නැගලා එහාට මෙහාට පැන පැන අත්හදාබැලීම් කරමින් රාත්‍රියත් එහිම ගතකරා. ඔන්න එදා රෑ මහ ධාරානිපාත වැස්සක් වැටුණා. පහුවෙනිදා උදේ බලද්දි බර්ටි නෑ. අපි හිතුවා වැස්සට කොහොට හරි යන්න ඇති කියලා. ඔන්න පැයකට හමාරකට පස්සේ බර්ටි පාරෙ හිටගෙන ඉන්න කෙනෙකුගේ අතේ ඉන්නවා. අපි අහම්බෙන් දැක්කෙ. බර්ටි පාරෙ ඉන්නවා දැකලා වාහනේකට අහුවෙයි කියලා අර කෙනා අරගෙ. පස්සෙ අපි විස්තරේ කියලා ඉල්ලගත්තා.
බර්ටි ගේ ඇතුලට එන්න වැඩි කැමැත්තක් දක්වපු නැති නිසා මිදුලෙම ඉන්න ඉඩ ඇරියා. එදා දවසෙත් එහේ මෙහේ පිහාඹන්න ප්‍රැක්ටිස් වෙලා රෑ වෙගෙන එද්දී අල්ලපු ගෙදර තියෙනවා විශාල අඹ ගහක්. ඒකට පිහාඹලා ගියා. අපිට ඉතිං දුකයි. ඒත් මොනවා කරන්නද? පහුවෙනිදා උදේ එයි කියලා හිතුවත් ආවෙ නැහැ. ඒත් ඔන්න දවල් එකපාරටම ආවා. හරි වැඩේනෙ. කලින් තිබුණු එයාගෙ වලිගෙ අතුරුදන්වෙලා. මොනවා උනාද දන්නෙ නෑ. දැන්නම් පැටියෙක් වගේ. ඔන්න අපි හාල් දුන්නා. ඒව කාලා පැයක් හමාරක් ඉදලා ආපහු අඹගහට යන්න පිහැඹුවා විතරයි කොහෙදෝ ඉඳන් ආව කාක්කෙක් බර්ටිව එළවගෙන ගියා. බර්ටි ඈතට ඈතට වේගෙන් පිහිඹලා ගියා. අපිට හරි දුකයි කපුටු හාමි බර්ටිට කරදරයක් කෙරුවද කියලා. එහෙම නැතිනම් මේ සීමාවෙන් පිටතටම එළවලා දැම්මද කියලා. බර්ටි ආයෙමත් එන එකක් නෑ කියලා හිතුවා. අනේ නෑ පහුවෙනිදා දවල් 2ට විතර ආවා. හැබැයි ඒ පාර හොඳටම බයවෙලා. දවස් දෙකක්ම ගෙයින් එළියට බැස්සෙ නැහැ. ඊට පස්සෙ ආයෙත් හොඳට වට පිටාව නිරීක්ෂණය කරලා අර අඹගහට ගියා. දැන් ඉතිං බර්ටිට පරිසරය පුරුදුයි. එක දවසක් අපේ ගෙදර ඉන්නවා. තව දවසක් කොහාට හරි ගිහින් ඉන්නවා.

No comments:

Post a Comment